Followers

Saturday, May 30, 2020

කොරෝනා කාලේ ස්වීඩනය-1


Image: outbreaknewstoday.com
මුලු ලෝකයම කොරෝනා වසංගතයට එරෙහිව අඩු වැඩි වශයෙන් එකම විදිහේ උපක්‍රම අනුගමනය කරද්දී, මිලියන දහයක විතර, සාපේක්ෂව කුඩා ජනගහනයක් (ලෝකයේ 91 වන ස්ථානය) සිටින ස්වීඩනය අනුගමනය කරන්නේ ඉතාමත්ම වෙනස් උපක්‍රමයක්. ඔවුන් අවම සීමාකිරීම් සහිතව, ජන ජීවිතය හැකි තරම් සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යන්න උපරිම උත්සාහයක් දරමින් සිටිනවා.

මැයි මස අග වනවිට එහි තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 36000 ක් පමණත්, 4000කට අධික මරණ සංඛ‍යාවකුත් වාර්තා වෙනවා. එනම් මරණ ප්‍රතිශතය 12% ක පමණ අගයක් ගන්නවා. පහත වගුවේ පෙන්වන ලෙසට, මෙය ස්කැන්ඩිනේවියානු කලාපයේ අනිත් රටවල් වලට සාපේක්ෂව ඉහල අගයක්.

Source: COVID-19 Dashboard by the Center for Systems Science and Engineering (CSSE) at Johns Hopkins University (JHU), as per 2020-05-30
එසේ වුවත් ස්වීඩනයේ ලොක්ඩවුන්, ෂට්ඩවුන්, කර්ෆිව් මොකුත් නෑ! විශ්වවිද්‍යාල සහ හයිස්කූල් වල  on-line ඉගැන්වීම් කෙරෙනව. ඒ ඇරෙන්න පුංචි ලමයින්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල් සහ අනිකුත් සියලුම පාසල් කිසිම බාධාවකින් තොරව සුපුරුදු විදිහට ක්‍රියාත්මක වෙනව. ෂොපින් යන්න, හවසට පබ් එකකට ගිහින් බියර් එකක් බොන්න, ජිම් එකට යන්න, එලිමහනේ ජොගින් කරන්න, මිනිස්සුන්ට මේ සේරම බාධාවකින් තොරව කරන්න පුලුවන්. සාමාන්‍ය ජනතාවට මුහුණු ආවරණ, අත් ආවරණ භාවිතයට උපදෙස් දීලත් නෑ, ඒ නිසා ඔවුන් ඒවා භාවිතා කරන්නෙත් නෑ.

PYP students on the swing
Image: internationalschoolofthestockholmregion.stockholm.se
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී වුවත් ස්වීඩන් ආර්ථිකයත් කොරෝනා වසංගතයේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ නැහැ. දැනටමත් විවිධ අංශ වල සේවකයන් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වෙලා. 2020 වසර අවසන් වන විට මිලියන භාගයකට පමණ රැකියා අහිමි වනු ඇති බවයි ස්විඩන් රජයේ පුරෝකථනය වන්නේ. මූලිකවම සංචාරක, හෝටල්, මෝටර් රථ අලුත්වැඩියා, සංස්කෘතික, විනෝදාස්වාද සහ කර්මාන්ත අංශයේ සේවකයන් මීට ඇතුලත් වනු ඇති.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගනු ලැබූ වෙනස් ප්‍රවේශයට පසුබිම් වන, ස්වීඩනයේ රාජ්‍ය පාලනය කිනම් ආකාරයක් ගනීදැයි දැන් අපි බලමු. ස්වීඩනයේ පවතින්නේ පාර්ලීමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක් (constitutional monarchy). ඔවුන්ටත් රජෙක් සහ රජ පවුලක් සිටිනවා, රාජ්‍යයේ නායකයා (head of the state) හැටියට සැලකෙන්නේ රජුයි. නමුත් මේ රජුට රාජ්‍යයේ නායකයා ලෙස කිසිදු ව්‍යවස්ථාපිත බලයක් පැවරී නැහැ. එය හුදෙක් නාමික තනතුරක් පමණයි. රටේ නීති පැනවීමේ බලය තිබෙන්නේ අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවටයි. කෙසේ වෙතත් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ ඇමතිවරයෙකුට ලැබෙන වරප්‍රසාද මෙන් කිසිවක් මොවුන්ට හිමිවන්නේ නැහැ. (ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න බලාපොරොත්තු වෙන නිසා වැඩි විස්තර මෙතන නොලියා ඉන්නම්). මෙහි ඇති  ඉතාම වැදගත් ලක්ෂණය වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවේ අමාත්‍යංශ වලට අනුබද්ධව, අති ප්‍රබල ස්වාධීනත්වයක් සහිත ආයතන (statlig myndighet) පද්ධතියක් පිහිටුවා තිබීමයි. මෙම ආයතන වලට නීති පැනවීමේ බලයක් හෝ හැකියාවක් නැතත්, තමන්ගේ විශයපථයට අදාලව රටේ බැරෑරුම් අවස්ථාවක් පැන නැගුන විට, ඒ සඳහා තම නිර්දේශ ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා.

ඉහත සඳහන් කල ආයතන අතරින් රටේ ජනතාවගේ සෞඛ‍යය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ස්වාධීන ආයතනය වන්නේ මහජන සෞඛය ඒජන්සියයි (Folkhälsomyndigheten). රටේ වසංගත තත්ත්වයක් ඇතිවුන විටදී ඊට මුහුණදීම සඳහා විශාලතම වැඩකොටස පැවරෙන්නේ මහජන සෞඛය ඒජන්සියට සම්බන්ධ, "රජයේ වසංගතවිද්‍යාඥ" (Statsepidemiolog) යන ධූරය දරන්නාටයි. වර්තමානයේ එම තනතුර දරන්නේ වෛද්‍ය විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් හිමි ඇන්ඩර්ස් ටෙග්නල් (Dr. Anders Tegnell) නමැත්තායි.
Dr. Anders Tegnell, State Epidemilogist
ඇන්ඩර්ස් ටෙග්නල් ප්‍රමුඛ මහජන සෞඛය ඒජන්සිය ඉදිරිපත් අනුගමනය කල උපායමාර්ගය සහ ඊට එල්ල වන විවේචනත්, එහි මේ වනවිට ලබා ඇති ප්‍රගති සමාලෝචනයත් මෙතනම විස්තර කරන්න ගියොත් මේ සටහන ගොඩක් දික් වෙනව, ඒ නිසා ඉතුරු කොටස ඊලඟ සටහනෙන් ....

No comments:

Post a Comment