Followers

Friday, May 29, 2020

මගේ මිත්‍ර විරාජ්ගේ සටහනට ප්‍රතිචාරයක්!!

විරාජ්  කියන්නේ  කැම්පස් එකේ මගේ බැච් එකේ හිටපු, පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයත් දරපු ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්. පසු කාලීනව ශිෂ්‍ය දේශපාලනයේදි මගේ ප්‍රතිවාදියෙක් උනත්, අදටත්  හිත හොඳින් ආශ්‍රය කරන මිත්‍රයෙක්.  කැම්පස් එකේදි දේශපාලනය කතා  කිරීම වරදක් හැටියට දැක්කත් ඔහු දේශපාලනය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්.  මීට දින කිහිපයකට කලින් තිබුණු "විජයග්‍රහණයේ සැමරුම" දවස් වල විරාජ් "මාවිල් ආරු සොරොව්ව වැසූ මල්ලී වෙත ලියා දන්වන වගනම්..." කියල ෆේස්බුක් එකේ නෝට් එකක් දැම්මා.


මම ඒ සටහනේ ඔහුගේ ලිවීමේ ශෛලියට කැමතියි, ඒක හරිම සෞන්දර්යාත්මක,  සාහිත්‍යමය සටහනක්. මමත් ඒක මගේ FB ල් එකේ ශෙයා කලා. මම හිතන්නේ එහි ඔහුගේ මූලික අරමුණ වුණේ  "විජයග්‍රහණයේ සැමරුම"ට සමගාමීව ලංකාවේ සිංහල සහ දෙමළ සමාජයන් අතර සංහිඳියාව ගැන කතාබහක් ඇති කිරීම. ඒකට සිංහල (බොහෝ දුරට සිංහල බෞද්ධ විය හැකියි) මිතුරන්ගෙන්  ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. සිංහල භාෂාව කියවීමේ ගැටලුව නිසා අපේ දෙමළ මිතුරන්ගේ අවධානය ඊට යොමු නොවුන බවට අනුමාන කළ හැකි වුවත්, සිංහල භාෂාව හොඳින් කියවිය හැකි දෙමළ මිතුරන්ගේවත් අවධානය ඊට යොමු වෙලා තිබුණේ නැහැ. මගේ අදහස එය අහම්බයක් නොවන බවයි.

යුද්ධ අවසානයේ සිට අවුරුදු දහයක් ගත වී ඇතත්, ඇත්තටම සංහිඳියාව සඳහා දෙමළ සමාජයට ආරාධනා කරන්න අපිට පුලුවන්ද? ඒ සඳහා අවශ්‍ය  සුදුසුකම් අපිට (සිංහල සමාජයට) තියෙනවද?

අත්අඩංගුවේ සිටින දෙමළ රැඳවියන් ගැන, උතුරු නැගෙනහිර වැසියන්ගෙන් අත්පත් කරගත් තවමත් ඔවුන් වෙත ආපසු නො දුන් ඉඩම් ගැන, තවමත් සාධාරණයක් ඉටු නොවුනු සාමාන්‍ය වැසියන් ගේ ඝාතන ගැන වචනයකවත් සදහනක් නොකර ඔවුන් වෙත දිගුකරන සංහිඳියාවේ දෑත් වලට ඔවුන් ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වනු ඇතැයි අපට අවංකවම සිතිය හැකිද? 

අත්අඩංගුවට අඩංගුවට ගත් දෙමළ රැඳවියන් වසර ගණනාවක් රඳවාගෙන සිටිද්දී,   පස් හැවිරිදි දරුවකු ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කිරීම  පිළිබඳ චූදිතයකු වූ, දීර්ඝ නඩු විභාගයකින් පසු වරදකරු වූ කෙනකු රටේ ප්‍රධාන විධායකයේ සමාව ලැබ නැවත ගෙදර යද්දී ඔවුන්ට දැනෙන හැඟීම් කෙබඳු විය හැකිද?  අප ඒ ගැන කොතෙක් දුරට සංවේදීද?

විජේවීර කියන සිංහල "ත්‍රස්තවාදියා"ගේ  හමුදාභාරයට පත් පත්වුණු දරුවන්ට තිබුණු අයිතිය, ප්‍රභාකරන් කියන  දෙමළ "ත්‍රස්තවාදියා" ගේ බාල දරුවාට නැති වෙන්න හේතුව  අපි තේරුම් ගන්නේ මොන විදිහටද? 


අවුරුද්දකට දෙපාරක් තමන්ගෙ "මහ විරුවෝ" සමරන්න ජවිපෙට තියන අයිතිය  දෙමළ මිනිස්සුන්ට ඔවුන්ගේ "මහ විරුවෝ" සිහිකරන්න තිබිය යුතුයි කියලා පිළිගන්න අපි සූදානම් ද?
 

මගේ අදහස නම් ගැටුමට මැදි වූ  දෙපාර්ශ්වයෙන්ම එකිනෙකා වෙත එල්ල කෙරෙන මෙවැනි චෝදනා පිළිබඳ සාධාරණ විභාගයකින් සත්‍යය හෙළිකර ගැනීමෙන් තොරව සංහිඳියාවක් ගැන කතා කිරීමට හැකි හැකියාවක් නැත යන්නයි. 

මේ බ්ලොගයේ මගේ පළමු  සටහනේ කියපු විදිහට, මෙතනදි සිංහල අන්තවාදීන් මොනම ආකාරයකවත් පරීක්ෂණයකට දැඩිව විරුද්ධ වෙනව. දෙමළ අන්තවාදීන් මේ ගැන ජාත්‍ය්න්තර පරීක්ෂණයක් කරල වැරදි කරුවන්ට උපරිම දඬුවම් දෙන්න කියනව. මම හිතන්නෙ මෙතන මුලින්ම කලයුත්තේ මානව හිමිකම් උල්ලංඝනය වූ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ දුක් ගැනවිළි වලට ඇහුම්කන් දී, අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් තොරතුරු විමර්ශනය කර එසේ උල්ලංඝනය වී ඇත්නම්, රජයක් ලෙස ස්වයං විවේචනාත්මකව එය පිලිගැනීම (admit the truth) සහ කණගාටුව පළකිරීමයි. ඉන්පසු සංහිඳියාව සඳහා යන ගමනේදී චෝදනා එල්ල වී ඇති (මහින්ද, ගෝඨාභය, සරත් ෆොන්සේකා, කේපී, කරුණා, පිල්ලෙයාන් ඇතුළු සියලු පාර්ශව වල)   පුද්ගලයන්ට (වරදකරුවන් බවට ඔප්පු වුවහොත්) පොදු සමාවක් යෝජනා කල හැක. ඒත්  සමගම පළාත් සභා වලට ව්‍යවස්ථානුකූලව හිමිවිය යුතු බලතල පවරා, උ/නැ පලාත් වල හමුදාවට පවරා ගත්ත සාමාන්‍ය මිනිස්සුන්ගේ ඉඩම් ආපහු දිය යුතුයි. එවැනි කරුණු තෘප්ත වුවහොත් හුදෙක් චූදිතයන්ට දඬුවම් කිරීම සංහිඳියාව සඳහා අත්‍යවශ්ය කරුණක් නොවන බව මගේ හැඟීමයි. 


ගැටළුව වන්නේ තව තවත් ජාතිවාදයේ පතුලටම  ගිල්වමින් පවතින සිංහල සමාජය අඩු තරමින් සත්‍යය පිළිගැනීමටවත් සූදානම්ද යන්නයි!

එබැවින් යම් කෙනෙක් මේ මොහොතේ සිංහල දෙමළ සංහිඳියාව ගැන අවංකවම හිතන්නේ නම් කළ යුත්තේ ඒ පිළිබඳ සෞන්දර්යාත්මක ලේඛනයෙන් ඔබ්බට ගොස් ඉහත ගැටලු ගැන සිංහල සමාජය තුළ කතිකාවක් ඇති කිරීමත්, එහි ඇති ජාතිවාදී ප්‍රවණතාවන්ට විවෘතවම විරෝධය දැක්වීමත්, ඉහත සඳහන් කළ දෙමළ ජනතාවගේ ගැටලු වලට විසඳුම් ලබාදීමට තමුන්ට හැකි මට්ටමින් හෝ  පාලකයින්ට බලපෑම් කිරීමත්ය.


 සංවාදයට! 



----------------------------------------------------------------------------------------------------------------------
විරාජ් ලියු සටහන:

මාවිල් ආරු සොරොව්ව වැසූ මල්ලී වෙත ලියා දන්වන වගනම්... 



මල්ලියේ,

උඹ අද ජීවත් වෙනවාද නැද්ද කියන්න මා දන්නේ නැත.. එසේම උඹට තේරෙන්න්ට දෙමළෙන් මේ ලියුං කඩදහිය ලියන්නටද මා දන්නේ නැත.. ඒ ගැන මා පසු තැවෙමි..

සාමාන්‍යයෙන් සොරොව්වක් වසන්නෙ වතුර ටික ඉතිරි කර ගන්ටය.. එනමුත් එදා 2007 ජූලි 26 උඹ මාවිල් ආරු සොරොව්ව වැහැව්වේ උඹට ඉහලන් ආ ඕඩරේකටය.. ඒදා උඹ කලේ රටක ඉරණමේ වෙනසක් බව උඹට හීනෙකින්වත් නොසිතෙන්නට ඇත..

කොහොමෙන් කොහොමෙන් හරි එදා උඹේ ක්‍රියාවත් සමග වෙන්න ඕන හරිය සිදු උනේය.. උඹලාගෙ දේශපාළුවන් ඇතුළු ඉහල ඇත්තන් මෙන්ම අපේ එහෙම උන්ද කාලයක් තිස්සේ පරම්පරා ගානකට බඩ කට පුරා කන්න හම්බු කරගත් ඒ කාළකන්නි යුද්දය ඉවරෙටම ඉවර විය.. උඹේ අයියලා, අක්කලා, මල්ලිලා, නංගිලා මෙනම අපේ උන් බරගානකටද දියුනු රට වල හදා අපිට ආදරෙයෙන් විකුණන ලද අවි ආයුධ වල මිහිර විඳින්න්ට සිදු උනේ එලොව ගිහින්ය.. තව බොහෝ ගණනකට අත පය ආදී ශරීරාංග අහිමිව මැරි මැරී ජීවත් වෙන්නට සිද්ධ වී ඇත.. උතුරේ කෙසේ වෙතත් දකුනේනම් අපේ පොලිටික්කෝ උන්ව කොටුව ඉස්ටේසම ඉස්සරහට ගෙනැවිත් ආතල් ගන්නේය..

මල්ලියේ.. උඹලා සුලු ජාතියක් නිසා උඹලාට නොයෙකුත් ගැටළු තියෙන්නට ඇත.. ඒත් උඹලාගෙ නෑයන් වැල්ලවත්ත, දෙහිවල, මට්ටක්කුලිය පැත්තේ ඒ ප්‍රස්න මොකුත් නැතුව කා බී ප්‍රීතියෙන් ජීවත් උනේය..අදටත් තත්වය එසේමය.. එහෙම උනේ ඇයි බන්..?

මට හිතෙන විදිහට ගැටළුව තිබ්බේ ප්‍රස්නය දිහා උතුරේ සිට බලන විට පෙනුන විදිහේය.. ඇත්ත ප්‍රස්නය උඹලාට පෙනුන දේ නෙමේය..ඒ කාටත් පොදු බඩගින්නය.. උඹලගේ වැල්ලවත්තේ නෑයන්ට නැත්තේද ඒකය.. ඒ නිසා උන්ට වෙනම රටවල් ඕනේ නැත.. කුසගින්නේ පෙළෙන උඹලාට තමන්ගේ රාජ්‍යයක ඉදිරියේදී ගන්නා ආතල් විකිණීම පහසු විය.. උඹලාට ඉතරක් නෙමේය.. අවස්තා දෙකකදී දකුණේ කොල්ලන්ටද විකුණුවේ ඕකය.. උනුත් ගුලිය කා ඉගෙන ගැනීම පසෙක තබා ගත්තේ රුසියාවෙන් ගෙන්වූ AK 47 ය.. අන්න්තිමට උන් ආණ්ඩුවේ නීත්‍යානුකූල බඩු වලට බිලි විය.. උන්ගෙ අම්මලාට නෑයින්ට සදාකාලිකව විඳවන්නට උන්ගේම බඩගින්න පාර කපා දුන්නේය..
කොහොමින් හරි අද සිරි ලංකාවේ යුද්ධයක් නැත.. උඹලාගේ උන් මෙන්ම අපේ උන්ද බුරුතු පිටින් මැරුනේය.. අපේ උන්ට කන්න බොන්න සහ අපේ පොඩි උන්ට ඉගෙන ගන්න රටේ තිබු තුට්ටු දෙක කොහේදෝ නොරටක හැදෙහ TNT සහ C4 ලෙස වාෂ්ප විය.. එයද මදි වී ඒ රටවලින්ම නයට ඩොලර් හිඟා කාගෙනද අපි ගිණිකෙළි සංදර්ශන පැවැත්වුයෙමු..

දැං හොඳටම ඇතිය.. අපි හැමෝටම හතිය...

මල්ලියේ අපි මෙහෙම කරමු.. උඹ අරන් වරෙන් තල් අත්තක් මාවිල් ආරු සොරොව් පාමුලට.. 

අපි එදා උඹලාව එළවා නැවත සොරොව්ව ඇරපු ආමි මල්ලීටත් කතා කරමු..
මල්ලියේ උඹ ගෙනෙන් පොල් අත්තක්..

දෙන්නාම එකතු පහදු වී අපි වියමු... හෙවිල්ලන්නට එක ගෙයක්.. 

ඒ ගේ යට කවදා හෝ පොඩි එකෙක් නොතෙමී අකුරක් ඉගෙන ගනු ඇත.. ඒ අකුර සිංහලද දෙමළද කියන එක වැදගත් නැත..

තුති...!

1 comment:

  1. මිත්‍රයා..

    මාගේ සටහන සඳහා ඔබ විසින් ඔබගේ කාලය කැප කර කියන ලද මේ බ්ලොග් පිටුව මම ඉතා ඉහලින් අගය කරමි... එසේම් එහි අන්තර්ගතයට ඔබ මෙන්ම මමද එකඟ බව දැන්වීමට කැමැත්තෙමි...

    මාගේ සටහන තුල අප දමිළ සහෝදර ප්‍රජාවගේ ගැටළුව ලඝු කිරීමකට ලක්වූ බවද මා පිළිගන්නවා.. මටත් වඩා මෙම ගැටළුව අධ්‍යයනය කර අත්දැකීම් ඇති ඔබ වැන්නවුන්ට එකී සරල ලෙස මේ ගැටළුව මා විසින් දැකීම තරමක් අයෝඅග්‍ය ලෙස පෙනී යාමද වරදක් නෙමෙයි..

    මෙහිදී ඔබ සඳහන් කල ආකාරයට මෙම ප්‍රශ්නය ගැන හොඳින් අතීතාවර්ජනයකද යෙදෙමින් සාකච්ඡා කොට පොදු විසඳුමකට එළඹීමට විශේෂයෙන් සිංහල පාලකයින්ට සිංහල ප්‍රජාව විසින්ම බලපෑම් කළ යුතු ආකාරයටම දමිළ සබුද්ධික ප්‍රජාව විසිනුත් ඔවුන්ගේ පාලකයන් එකී ගැටළුව නිරාකරණය වන දිශාවකට තල්ලු කිරීමක් කළ යුතු බව මගේ අදහසයි.

    එසේ නොවුවහොත් සිදු වන්නේ හැමදාම මෙන් කිසිවෙකුත් හරියටම එකඟ නොවන රාමුවකට කොටු කර ගැනීමක් සිදු නොවී හැමදාම සාකච්ඡා කිරීමත් අවසානයේ එම මත ගැටුම් විරසක වීම් කරා ඔඩු දිවීමත් පමණයි.. එය පහුගිය කාලයේ අපේ ඇස් පනාපිටම නොයෙක් වර සිදු උන බව ඔබද පිළිගනු ඇතැයි මාගේ හැඟීමයි..

    දෙපැත්ත්තේම දේශපාලකයින් සහ අනාගත වෙනම රාජ්‍යයක කිරුළු පැළඳීමේ සුභ සිහින දකින රැඩිකල්යැයි කියාගන්නා නායකයින් පසකට තබා, ඔවුන්ගේ උගුල් වලට හසු නොවී, දෙපාර්ශවේම හුදෙක් සබුද්ධික මිනිසුන් එක්ව ගැටළුවේ හරය තෙරුම් ගැනීම වඩා යෝග්‍ය බව මම තව දුරටත් සුදුසු බව දකිනවා.. නියම සහ ප්‍රායෝගිකම රැඩිකල් රාමුව එය බවයි මගේ හැඟීම..

    අප විශ්ව විද්‍යාලය තුලදී අපට හමු වූ දමිළ සහෝදර වරුන් සහ අපගේ සිතුම් පැතුම් වල විශේෂ වෙනසක් අපි දුටුවේ නෑ සහෝදරයා.. අපි අතර ගැටළු තිබුනේ නැති තරම්. එම සමාජ උප කුලකයම දෙපාර්ශ්වයෙම පාලකන්ගේ කිළිටි කිරීමකට ලක් නොවී මුළු මහත් රට තුලම සැලකිය යුතු ප්‍රමාණයකින් ක්‍රියාත්මක උනානම් මේ ගැටළුව ඉබේම විස්ඳෙනු බව මගේ අනුමානයයි. මා නොදකින පැත්තක් මෙහිදී ඔබට පෙනේනම් අපි ඒ ගැන කතා කරමු. නමුත් එය ප්‍රශ්ණය අනවශ්‍ය ලෙස සංකීර්ණ කිරීමක් නොවිය යුතුයි. අප සැවොම එදා දුටු යහපත් රැකියාවක්.. සමාජයේ කොන්ද කෙලින් තබාගෙන වාසය කිරීමක් වැනි පොදු අරමුණු වෙනුවෙන් සාමූහිකව ගමන් කිරීමක් විය යුතුයි..

    ඉතිහාසය තුල අප දෙපාර්ශවයෙන්ම සිදු වූ වැරදි අපමණයි.. මා තවමත් විශ්වාස කරන පරිදි එයට වග කිව යුත්තේ අපේ පාලකයන් සහ ගරිල්ලා නායකයින්.. වැරදි කරපින්නාගෙන ඒ වැරදි වල ස්කන්ධයන් සංසන්දනය කරමින් ප්‍රශ්න විසඳීමට යාම හුදෙක් දෙපාර්ශවයේම කාලය, ධනය සහ ශ්‍රමය කා දැමීමක් පමණයි.. අවසානයේ සිදුවන්නේ කා හටත් එකඟ නොවිය හැකි විරසකයකින් සාකච්ඡා මේසයෙන් සමු ගැනීමට සිදු වීමයි..

    ඔබ කී ආකාරයට අපි මතයක් ගොඩ නගමු.. ඒ පාලකයන්ගේ බලපෑමෙන් තොරව අපි අපිම වශයෙන්. සාමාන්‍ය දමිළයාටත් සිංහලයාටත් විස්ඳගන්න කෝන්තර නෑ සහෝදරයා.. අපි විශ්ව විද්‍යාලයේදී හොඳින්ම අත් දැක්කෙ ඒක.. මතය ගෙනියමු.. ඒ බැඳීම රටේත් සමාජයේත් කොඳු නාරටිය ඔස්සේ ව්‍යාප්ත කිරීමට.. අපිට පුළුවන් වෙයි බන්...

    ඔබට ආයෙත් පිං මගේ සටහන සාකච්ඡා මෙසයට රැගෙන ආවාට.. අපි පළදායී සාකච්ඡාවක් කරමූ.. ධනාත්මක වෙමු.. එතකොට අපිටම වැටහෙයි අපි සහෝදරයන් බව.. එසේ වැටහුනු පසු මහ හඬින් හිනා වෙමු.. අවසනයේ කාඩ් අතකුත් ගසා සතුටින් විසිර යමු..

    ප:ළි: මේ සියල්ල සිංහල බාසාවෙන් ලියන්න වීම ගැන මම කණගාටු වෙනවා සහෝදරයා.. ඒත් ඔබ කීවක් මෙන් මේ ප්‍රශ්ණය වැඩිපුරම තේරුම් ගැනීමට අවශ්‍ය අපේ සිංහල කියවන්නෙකුගේ මනසේ සුළු හෝ වෙනසක් කිරීමට මාගේ සටහන දායක වූවානම් මම ඒ ගැන අවංකවම සතුටු වෙනවා....

    ReplyDelete